ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • es25 121-133 පි.
  • ඔක්තෝබර්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔක්තෝබර්
  • දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025
  • උපමාතෘකා
  • ඔක්තෝබර් 1, බදාදා
  • ඔක්තෝබර් 2, බ්‍රහස්පතින්දා
  • ඔක්තෝබර් 3, සිකුරාදා
  • ඔක්තෝබර් 4, සෙනසුරාදා
  • ඔක්තෝබර් 5, ඉරිදා
  • ඔක්තෝබර් 6, සඳුදා
  • ඔක්තෝබර් 7, අඟහරුවාදා
  • ඔක්තෝබර් 8, බදාදා
  • ඔක්තෝබර් 9, බ්‍රහස්පතින්දා
  • ඔක්තෝබර් 10, සිකුරාදා
  • ඔක්තෝබර් 11, සෙනසුරාදා
  • ඔක්තෝබර් 12, ඉරිදා
  • ඔක්තෝබර් 13, සඳුදා
  • ඔක්තෝබර් 14, අඟහරුවාදා
  • ඔක්තෝබර් 15, බදාදා
  • ඔක්තෝබර් 16, බ්‍රහස්පතින්දා
  • ඔක්තෝබර් 17, සිකුරාදා
  • ඔක්තෝබර් 18, සෙනසුරාදා
  • ඔක්තෝබර් 19, ඉරිදා
  • ඔක්තෝබර් 20, සඳුදා
  • ඔක්තෝබර් 21, අඟහරුවාදා
  • ඔක්තෝබර් 22, බදාදා
  • ඔක්තෝබර් 23, බ්‍රහස්පතින්දා
  • ඔක්තෝබර් 24, සිකුරාදා
  • ඔක්තෝබර් 25, සෙනසුරාදා
  • ඔක්තෝබර් 26, ඉරිදා
  • ඔක්තෝබර් 27, සඳුදා
  • ඔක්තෝබර් 28, අඟහරුවාදා
  • ඔක්තෝබර් 29, බදාදා
  • ඔක්තෝබර් 30, බ්‍රහස්පතින්දා
  • ඔක්තෝබර් 31, සිකුරාදා
දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම – 2025
es25 121-133 පි.

ඔක්තෝබර්

ඔක්තෝබර් 1, බදාදා

‘දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව තියෙන කෙනෙක් කීකරු වෙන්න ලෑස්තියි.’—යාකො. 3:17.

දාවිත් දෙවියන්ට කිව්වා “දිගටම ඔබේ කැමැත්ත කිරීමට මා තුළ ආශාවක් ඇති කරගැනීමට මට උපකාර කරන්න” කියලා. (ගීතා. 51:12) දාවිත් කියන්නේ යෙහෝවාට ගොඩක් ආදරේ කරපු කෙනෙක්. ඒත් සමහර වෙලාවට කීකරු වෙන්න එයාටත් අමාරු වුණා. අපිත් එහෙමයි නේද? ඇත්තටම ඇයි අපිට කීකරු වෙන්න අමාරු? හේතු කීපයක් බලමු. (1) පාපය උරුම කරගත්ත අය විදිහට අකීකරුකම කියන්නේ අපේ ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. (2) සාතන් කොයි වෙලෙත් උත්සාහ කරන්නේ එයා වගේම කැරලිගහන්න අපිවත් පොලඹවන්න. (2 කොරි. 11:3) (3) අපි වට වෙලා ඉන්නේ සාතන් වගේම කැරලිගහන, දෙවියන්ට අකීකරු මිනිස්සුන්ගෙන්. (එෆී. 2:2) ඒ නිසා අපේම පව්කාරකම එක්ක විතරක් නෙවෙයි අකීකරු වෙන්න යක්ෂයාගෙන් සහ මේ ලෝකෙන් එන බලපෑමට විරුද්ධවත් අපිට ලොකු සටනක් කරන්න වෙනවා. ඒකයි යෙහෝවා දෙවියන්ටත් ඔහු අධිකාරියක් දීලා තියෙන අයටත් කීකරු වෙන්න අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. w23.10 6 1¶

ඔක්තෝබර් 2, බ්‍රහස්පතින්දා

“ඔයා දැන්නේ හොඳම වයින් දෙන්නේ.”—යොහ. 2:10.

යේසුස් කරපු මේ ආශ්චර්යයෙන් අපිට නිහතමානිකම ගැන වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්. යේසුස් කවදාවත් තමන් කරපු දෙයක් ගැන මහ උජාරුවෙන් කතා කළේ නැහැ. ඒ වෙනුවට ඒකට ලැබෙන්න ඕනෙ ප්‍රශංසාව ඔහු දුන්නේ ඔහුගේ තාත්තාට. (යොහ. 5:19, 30; 8:28) අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් අපි කරන කිසිම දෙයක් ගැන, කොටින්ම කිව්වොත් සංවිධානයෙන් ලැබිලා තියෙන පැවරුමක් ගැන වුණත් තැන තැන ගිහිල්ලා මහ ලොකුවට කියවන්නේ නැහැ. අපි අමතක කරන්න හොඳ නැහැ අපිට ඒ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ යෙහෝවාගෙන් කියලා. (යෙරෙ. 9:23, 24) ඒ නිසා අපිට ලකුණු දාගන්නවා වෙනුවට ඒ ලකුණු යෙහෝවාට දෙමු. මොකද ඔහුගේ උදව් නැතුව අපිට කවදාවත් කිසිම දෙයක් සාර්ථක කරගන්න බැහැ. (1 කොරි. 1:26-31) ඒ වගේම අපි නිහතමානී නම් අපි අනිත් අය වෙනුවෙන් කියපු කරපු දේවල් ප්‍රසිද්ධ කරලා කාගෙවත් ගෞරවය ලබාගන්න අපිට ඕනෙ නැහැ. ඒ දේවල් යෙහෝවා දැක්කොත් ඒ හොඳටම ඇති. (මතෙ. 6:2-4; හෙබ්‍රෙ. 13:16) ඒ විදිහට අපි නිහතමානී වෙද්දී ඒ ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙයි.—1 පේතෘ. 5:6. w23.04 4 9¶; 5 11-12¶

ඔක්තෝබර් 3, සිකුරාදා

“ඔයා ගැනම විතරක් හිතන්නේ නැතුව අනිත් අය ගැනත් හිතලා වැඩ කරන්න.”—ෆිලි. 2:4.

දෙවිගේ බලයේ උදව්වෙන් පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්නුවා එකිනෙකාට පෞද්ගලික සැලකිල්ල දක්වන්න කියලා. ඒ උපදෙස රැස්වීම්වලදී අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒක කරන්න නම් අපි මතක තියාගන්න ඕනෙ අපි වගේම අනිත් අයත් උත්තර දෙන්න ගොඩක් ආසයි කියලා. හිතන්න යාළුවෝ කට්ටියක් එක්ක ඉද්දී ඔයාම විතරක් කතා කරනවාද? නැහැනේ. අපි අනිත් අයටත් කතා කරන්න අවස්ථාව දෙනවා. ඒ වගේ තමයි අපේ රැස්වීමුත්. රැස්වීමේදී අපිම උත්තර දෙනවා වෙනුවට අනිත් අයටත් එයාලාගේ විශ්වාසය ගැන කියන්න අපි අවස්ථාව දෙන්න ඕනේ. (1 කොරි. 10:24) ඒක එයාලව දිරිගන්වන්න පුළුවන් හොඳ විදිහක්. ඉතින් පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙන්න. මොකද එහෙම කරද්දී තව හුඟදෙනෙක්ට උත්තර දෙන්න අවස්ථාව ලැබෙනවා. කෙටි උත්තරයක් දෙද්දීත් ඒකට ගොඩක් කරුණු ඇතුළත් කරන්න එපා. ඔයා ඡේදේ තියෙන හැම අදහසක්ම ඔයාගේ උත්තරේට එබුවොත් අනිත් අයට දෙන්න දෙයක් නැති වෙයි. w23.04 22-23 11-13¶

ඔක්තෝබර් 4, සෙනසුරාදා

“ශුභාරංචිය වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරනවා. මට ඕනෙ අනිත් අය එක්ක ඒ පණිවිඩය බෙදාගන්න.”—1 කොරි. 9:23.

අනිත් අයට උදව් කරන්න පුළුවන් හොඳම විදිහක් තමයි බයිබලේ ගැන උගන්වන එක. සේවේ කරද්දීත් තත්වයන්වලට හැඩගැහෙන්න අපි ඉගෙනගන්න ඕනේ. ඒක කරන්න පාවුල් හොඳ ආදර්ශයක්. යේසුස් පාවුල්ව “වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතට යවපු නියෝජිතයෙක්” විදිහට පත් කළා. (රෝම 11:13) ඒ නිසා පාවුල් යුදෙව්වන්ට, ග්‍රීකයන්ට, බුද්ධිමතුන්ට, දුගී දුප්පත් මිනිස්සුන්ට, ඉහළ පෙළේ නිලධාරීන්ට විතරක් නෙවෙයි රජවරුන්ටත් සාක්ෂි දැරුවා. පාවුල් සාර්ථක වුණේ එයා ඒ ඒ අයට “ගැළපෙන විදිහට” පණිවිඩේ කිව්ව නිසයි. (1 කොරි. 9:19-22) කෙනෙක්ට පණිවිඩේ කියන්න කලින් ඒ කෙනාගේ සංස්කෘතිය, පසුබිම, විශ්වාසයන් වගේ දේවල් ගැන පාවුල් හොඳට හිතුවා. ඒ නිසයි හදවතට දැනෙන විදිහට කතා කරන්න එයාට පුළුවන් වුණේ. අපිත් පාවුල්ව ආදර්ශයට ගන්නවා නම් ඕනම කෙනෙක්ගේ හදවතට කතා කරන්න අපිටත් පුළුවන්. w23.07 23 11-12¶

ඔක්තෝබර් 5, ඉරිදා

“ස්වාමීන්ගේ දාසයෙක් කාත් එක්කවත් රණ්ඩු කරගන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට එයා හැම කෙනෙක් එක්කම කාරුණිකව වැඩ කරන්න ඕනේ.”—2 තිමෝ. 2:24.

කාරුණික, මෘදු කෙනෙක් දුර්වලයෙක් නෙවෙයි. ඇත්තටම එයා ශක්තිමත්. මොකද අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී සන්සුන්ව ඉන්න නම් ලොකු ශක්තියක් තියෙන්න ඕනේ. මෘදුකම කියන්නේ “කෙනෙක් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී” ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22, 23) “මෘදුකම” කියලා පරිවර්තනය කරලා තියෙන මුල් ග්‍රීක වචනය සමහර අවස්ථාවලදී මෙල්ල කරපු කැලෑ අශ්වයෙක් ගැන කතා කරද්දීත් පාවිච්චි කරලා තියෙනවා. ටිකකට ඒ වගේ අශ්වයෙක් ගැන හිතන්න. ඌ හීලෑ වුණාට උගේ ශක්තියේ නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේ අපිටත් පුළුවන් මෘදුකම වර්ධනය කරගන්න අතරේම ශක්තිමත් අය වෙන්න. හැබැයි ඒක අපේම හැකියාවෙන් කරන්න බැහැ. මේ ලස්සන ගුණාංගය වර්ධනය කරගන්න යෙහෝවා දෙවිගේ බලය ඉල්ලලා යාච්ඤා කරන එක හරිම වැදගත්. එහෙම කරපු හුඟදෙනෙක් අපි අතර ඉන්නවා. උදාහරණෙකට විරුද්ධවාදීන් ඉස්සරහා හුඟක් සාක්ෂිකරුවන් හරිම සන්සුන්ව, කාරුණිකව වැඩ කරලා තියෙනවා. එහෙම කරපු එකෙන් සාක්ෂිකරුවන් ගැන හුඟදෙනෙක්ගේ හිතේ පැහැදීමක් ඇති වෙලා තියෙනවා.—2 තිමෝ. 2:24, 25. w23.09 15 3¶

ඔක්තෝබර් 6, සඳුදා

“මං එදා යෙහෝවාට යාච්ඤා කළේ මට පුතෙක් දෙන්න කියලයි. දෙවියන් මගේ ඉල්ලීම ඉටු කළා.”—1 සාමු. 1:27.

යොහන් දර්ශනයකින් දැක්කා ස්වර්ගයේ ඉඳලා වැඩිමහල්ලෝ 24දෙනෙක් යෙහෝවාට නමස්කාර කරනවා. ‘සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලබන්න වටින්නේ යෙහෝවා දෙවියන්’ කියලා එයාලා දෙවියන්ට ප්‍රශංසා කරනවා. (එළි. 4:10, 11) ස්වර්ගයේ ඉන්න විශ්වාසවන්ත දේවදූතයන්ටත් දෙවියන්ට ප්‍රශංසාව, ගෞරවය දෙන්න ඕන තරම් හේතු තියෙනවා. එයාලා ඉන්නේ යෙහෝවා එක්ක නිසා දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා එයාලා දන්නවා. ඔහු කරන කියන හැම දේකින්ම ඔහුගේ ලස්සන ගුණාංග ඉස්මතු වෙන විදිහ එයාලට පේනවා. ඒ නිසා එයාලා දෙවියන්ට ප්‍රශංසා කරන්නේ නිතැතින්මයි. (යෝබ් 38:4-7) අපිටත් ඕනෙ අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරය, ගෞරවය, අගය කියලා ඔහුට ප්‍රශංසා කරන්න. ඒකට බයිබලේ කියවද්දී, අධ්‍යයනය කරද්දී ඒ කොටසෙන් හිතට වැඩියෙන්ම දැනුණ දෙවියන්ගේ ගුණාංග ගැන හිතලා ඒ ගැන ඔයාට හැඟෙන විදිහ යාච්ඤාවෙන් ඔහුට කියන්න. (යෝබ් 37:23; රෝම 11:33) අපි වෙනුවෙන්, අපේ සහෝදරයන් වෙනුවෙන් ඔහු දැනටමත් කරලා තියෙන දේවල්වලටත් ප්‍රශංසා කරන්න.—1 සාමු. 2:1, 2. w23.05 3-4 6-7¶

ඔක්තෝබර් 7, අඟහරුවාදා

‘යෙහෝවාට නමස්කාර කරන අයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න.’—කොලො. 1:10.

1919දී දෙවියන්ගේ සෙනඟ මහ බැබිලෝනියෙන් නිදහස් වුණා. ඒ අවුරුද්දේම යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාවත්” පත් කළා. (මතෙ. 24:45-47) ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ නියම වෙලාවට. මොකද ඒ නිසා තමයි අවංක හදවත් තිබුණ අයට මේ “ශුද්ධ මඟට” ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ. (යෙසා. 35:8) මේ මඟ එළිපෙහෙළි කරන්න මහන්සි වුණ ඒ වැඩකරුවන්ට ස්තුති වෙන්න දැන් අපි ඕනම කෙනෙක්ට පුළුවන් දෙවියන්ගේ අරමුණ ගැන වැඩියෙන් දැනගන්න. (හිතෝ. 4:18) ඒ වගේම දෙවියන්ගේ කැමැත්තට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්නත් අපිට අවස්ථාව තියෙනවා. හැබැයි එක රැයකින් හැම දේම වෙනස් කරගනියි කියලා යෙහෝවා එයාලාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට කාලයත් එක්කම ඔහු ක්‍රමානුකූලව එයාලව පවිත්‍ර කළා. හිතන්න, අනාගතයේදී සම්පූර්ණයෙන්ම පවිත්‍ර වෙලා දෙවියන්ගේ කැමැත්ත 100%ක් කරන ඒ දවසේදී අපිට කොච්චර සතුටක් දැනෙයිද! හැම පාරක්ම නඩත්තු කරනවා වගේ මේ ශුද්ධ මඟත් 1919 ඉඳන් නඩත්තු කරන්න පටන්ගත්තා. තව අයට බැබිලෝනියෙන් ගැලවිලා එන්න ඒක උදව් වුණා. w23.05 17 15¶; 19 16¶

ඔක්තෝබර් 8, බදාදා

“මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ.”—හෙබ්‍රෙ. 13:5.

පාලක මණ්ඩලයට උපකාර කරන එක් එක් සහෝදරයාට එයාලා විශේෂ අවධානයක් දීලා පුහුණු කරනවා. ඒ සහෝදරයන් මේ වෙද්දීත් සංවිධානයේ හුඟක් වගකීම් දරනවා. ඇත්තම කිව්වොත් යේසුස්ගේ බැටළුවන්ව බලාගන්න වැඩේ කරට ගන්න එයාලා දැනටමත් ලෑස්තියි. මහත් පීඩාව ඉවර වෙන්න කලින් ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයව ස්වර්ගයට ගත්තාට පස්සේ පවිත්‍ර නමස්කාරයට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපිට මඟ පෙන්නන්න අපේ නායකයා වන යේසුස් ඉන්නවා. ඇත්ත, එදාට මාගොග් දේශයේ ගොග් කියලා හඳුන්වන ජාතීන්ගේ එකතුව අපිට පහර දෙයි. (එස. 38:18-20) ඒත් ඒ ප්‍රහාරය තියෙන්නේ හරිම කෙටි කාලෙකට. අනික, ඒ ජාතීන්ගේ එකතුවට බැහැ දෙවියන්ගේ සෙනඟ කරන නමස්කාරයට හරස් වෙන්න. මොකද යෙහෝවා දෙවියන් අපිව ගලවගන්නවා. අපි කොහොමද ඒක හරියටම දන්නේ? මතකද යොහන් වෙනත් බැටළුවන්ට අයිති “මහත් සමූහයව” දර්ශනයකින් දැක්කා? එයාලා “මහත් පීඩාවෙන් බේරිලා එන අය.” (එළි. 7:9, 14) ඒකෙන් පැහැදිලියි යෙහෝවා එයාලව ආරක්ෂා කරනවා කියලා. w24.02 5-6 13-14¶

ඔක්තෝබර් 9, බ්‍රහස්පතින්දා

“ඔයාලා තුළ ගින්නක් වගේ දැවෙන දෙවියන්ගේ බලය නිවලා දාන්න එපා.”—1 තෙස. 5:19.

දෙවියන්ගේ බලය ලබාගන්න යාච්ඤා කරන එක, බයිබලේ අධ්‍යයනය කරන එක සහ ඔහුගේ සංවිධානයට ළං වෙලා ඉන්න එක උදව් වෙනවා. අපි ඒ දේවල් කරද්දී ‘දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග’ වර්ධනය කරගන්නත් අපිට පුළුවන්. (ගලා. 5:22, 23) දෙවියන් බලය දෙන්නේ හදවතින් සහ ක්‍රියාවෙන් පිරිසිදුව ඉන්න අයට. වැරදි දේවල් ගැන හිතහිත දිගින් දිගටම ඒ දේවල් කරන අයට ඔහු බලය දෙන්නේ නැහැ. (1 තෙස. 4:7, 8) ඒ වගේම අපි ඔහුගේ බලය දිගටම ලබාගන්න නම් ‘අනාවැකි කීම් හෙළා දකින්නේ නැතුව’ ඉන්නත් ඕනේ. (1 තෙස. 5:20) “අනාවැකි කීම්වලට” දෙවියන්ගේ දවස ගැන සහ ඒක කොච්චර ළඟද කියන එක ගැන ලැබෙන මඟ පෙන්වීම් ඇතුළත්. ඒවා ලැබෙන්නේ දෙවියන්ගේ බලයේ මඟ පෙන්වීමෙන්. ඒ නිසා අපි කවදාවත් ‘හර්–මගෙදොන් දැන්මම නං එන එකක් නෑ’ කියලා හිතලා ඒක මනසින් ඈතට තල්ලු කරලා දාන්න හොඳ නැහැ. ඒ වගේම ‘දෙවියන්ට තියෙන භක්තිය අපේ ක්‍රියාවලින් පෙන්නන්න’ අපි මහන්සි වෙන්නත් ඕනේ.—2 පේතෘ. 3:11, 12. w23.06 12 13-14¶

ඔක්තෝබර් 10, සිකුරාදා

“ප්‍රඥාව ලබාගන්න නම් කෙනෙක් මුලින්ම යෙහෝවාට ගරුබිය දක්වන්න ඕනේ.”—හිතෝ. 9:10.

ඉන්ටනෙට් පාවිච්චි කරද්දී එකපාරටම අසභ්‍ය දර්ශනයක් ආවොත් මොකද කරන්නේ? අපි ඉක්මනටම අපේ ඇස් ඒකෙන් ඉවතට ගන්න ඕනේ. ඒකට අපිට තියෙන වටිනාම දේ ගැන ඒ කියන්නේ යෙහෝවා එක්ක තියෙන බැඳීම ගැන හිතන එක උදව් වෙනවා. ඉන්ටනෙට් එකේ, ටීවී එකේ පෙන්නන සමහර ඒවා අසභ්‍ය දර්ශනම නෙවෙයි. හැබැයි ඒ වගේ දෙයකින් වුණත් ලිංගික හැඟීම් ඇවිස්සෙන්න පුළුවන්. අපි කැමති නැහැ අනාචාරය කියන ගැඹුරු වළ දිහාවට එක අඩියකින්වත් ළං වෙන්න. අඩුම තරමේ හිතින්වත් ඒක කරන්න අපිට ඕනෙ නැහැ. (මතෙ. 5:28, 29) වැඩිමහල්ලෙක් වන ඩේවිඩ් කියන දේ බලන්න. “මං හැම තිස්සේම හිතනවා ‘අසභ්‍ය දෙයක් නොවුණාට මේක දිහා දිගින් දිගටම බලන් හිටියොත් මාව දකින යෙහෝවාට කොහොම දැනෙයිද’ කියලා. ඇත්තටම එහෙම හිතන එක තමයි මට උදව් වෙන්නේ හරි දේ කරන්න.” හරි තීරණයක් ගන්න යෙහෝවා ගැන ගරුබියක් තියෙන එක අපිට උදව් වෙනවා. බයිබලේ කියනවා “ප්‍රඥාව ලබාගැනීමට මුල්ම පියවර වන්නේ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමයි” කියලා. w23.06 23 12-13¶

ඔක්තෝබර් 11, සෙනසුරාදා

“මගේ සෙනඟෙනි, ඔබේ ඇතුල් කාමරවලට යන්න.”—යෙසා. 26:20.

“නිවස ඇතුළේ තියෙන ආරක්ෂිත කාමර” අපේ සභාවලට සමාන කරන්න පුළුවන්. මහත් පීඩාව කාලේදී අපි සහෝදරයන් එක්ක එකමුතුව ඉද්දී යෙහෝවා අපිව ආරක්ෂා කරන විදිහ අද්දකින්න අපිට පුළුවන්. ඒත් ඒකට අපි දැන් ඉඳන්ම එයාලාගේ අඩුපාඩුකම් දරාගන්න ඕනේ. එයාලට හදවතින්ම ආදරේ කරන්නත් ඕනේ. මොකද ඒ මත තමයි අපේ ජීවිතේ රැඳිලා තියෙන්නේ. “යෙහෝවා දෙවිගේ මහත් දවස” මිහිපිට ජීවත් වෙන හැමෝටම අඳුර පිරුණ, භයානක දවසක් වෙයි. (ශෙප. 1:14, 15) ඒත් අපි දැන් තියාම ලෑස්ති වෙනවා නම් අපිට පුළුවන් එදාට සන්සුන්ව ඉඳලා අනිත් අයටත් උදව් කරන්න. දෙවියන්ගේ සෙනඟ විදිහට එදාට අපිත් පීඩාවලට මුහුණ දෙද්දී දිගටම විඳදරාගනියි. අපේ සහෝදරයෝ පීඩා විඳිද්දී අපි දයානුකම්පාවෙන් පෙලඹිලා එයාලට උදව් කරයි. ඒ වගේම අපි එයාලත් එක්කම ඉඳියි. අපි දන්නවා වැඩි කල් යන්න කලින් දෙවියන් අපේ හැම පීඩාවකටම නිමාවක් ගෙනල්ලා අපිට සදාකල් ජීවිතය දෙනවා කියලා. පීඩා කියන්නේ මොනවාද කියලවත් එදාට අපිට මතක් වෙන එකක් නැහැ.—යෙසා. 65:17. w23.07 7 16-17¶

ඔක්තෝබර් 12, ඉරිදා

“[යෙහෝවා] ඔයාලව ශක්තිමත් කරයි. විශ්වාසවන්තව ඉන්නත් නොසැලී ඉන්නත් ඔහු ඔයාලට උදව් කරයි.”—1 පේතෘ. 5:10.

දෙවියන්ට විශ්වාසවන්තව හිටපු අයව බයිබලේ ශක්තිමත් අය විදිහට හඳුන්වලා තියෙනවා. හැබැයි ඒ වගේ අයට වුණත් සමහර අවස්ථාවලදී එයාලා දුර්වලයි කියලා දැනුණා. උදාහරණෙකට දාවිත්ට හිතුණා එයා ‘කන්දක් වගේ ශක්තිමත්’ කියලා. ඒත් තවත් වෙලාවක එයා කිව්වා ‘මම කැලඹිලා ඉන්නේ’ කියලා. (ගීතා. 30:7) සැම්සන් කොච්චර ශක්තිමත් වුණත් එයාට දෙවියන්ගේ බලය ලැබුණේ නැත්නම් ඒ ‘ශක්තිය නැති වෙලා එයා සාමාන්‍ය මනුස්සයෙක් වගේ වෙයි’ කියලා එයා දැනන් හිටියා. (විනි. 14:5, 6; 16:17) ඒ දේවල්වලින් පැහැදිලියි ඒ හැමෝම බලවත් වුණේ යෙහෝවාගෙන් ලැබුණ ශක්තිය නිසා කියලා. දෙවියන්ගේ බලය නැතුවම බැහැ කියලා පාවුල් වුණත් පිළිගත්තා. (2 කොරි. 12:9, 10) පාවුල්ටත් අසනීප තිබුණා. (ගලා. 4:13, 14) සමහර වෙලාවට හරි දේ කරන්න එයාත් සටන් කළා. (රෝම 7:18, 19) ඉස්සරහට මොනවා වෙයිද කියලා එයාට ලොකු බයක් දැනුණ වෙලාවලුත් තිබුණා. (2 කොරි. 1:8, 9) ඒත් ඒ වගේ දුර්වල අවස්ථාවලදී පාවුල් ගොඩක් බලවත් වුණා. මොකද යෙහෝවා ශක්තිය දීලා එයාගේ අඩුව පිරෙව්වා. w23.10 12 1-2¶

ඔක්තෝබර් 13, සඳුදා

“යෙහෝවා වන මම ඒ කෙනාගේ හිතේ තියෙන දේ දකිනවා.”—1 සාමු. 16:7.

ඔයාගෙන් වැඩක් නැහැ කියලා ඔයාටත් දැනෙනවා නම් මේක මතක තියාගන්න. යෙහෝවා තමයි ඔයාව ඔහු ළඟට ඇදලා ගත්තේ. (යොහ. 6:44) ඒ ඔහු ඔයාගේ හදවත දැක්ක නිසයි. (2 ලේක. 6:30) ඔයාවත් දැකලා නැති ඔයාගේ හොඳ ගුණාංග යෙහෝවා දැක්කා. ඉතින් ඔහුම කියනවා නම් “ඔයා මට ගොඩක් වටිනවා” කියලා ඒ ගැන සැක කරන්න එපා. (1 යොහ. 3:19, 20) සත්‍යයට එන්න කලින් කරපු වැරදි ගැන තාමත් සමහරුන්ගේ හිත වධ දෙනවා. (1 පේතෘ. 4:3) ඔයාටත් එහෙම දැනෙනවා නම් ඒ ගැන දුක් වෙන්න එපා. දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන්ටත් එහෙම දැනුණා. උදාහරණෙකට පාවුල්ට හිතුණා එයා මහා කාලකණ්ණි මනුස්සයෙක් කියලා. (රෝම 7:24) පාවුල් කියන්නේ වැරදි ගැන අවංකව පසුතැවිලි වෙලා බව්තීස්ම වුණ කෙනෙක්. එහෙම වෙලත් එයාට දැනුණේ එයා “නියෝජිතයන් අතරින් සුළුම තැනැත්තා” සහ “පව්කාරයන් අතරින් ප්‍රධානතම පව්කාරයා” කියලා.—1 කොරි. 15:9; 1 තිමෝ. 1:15. w24.03 27 5-6¶

ඔක්තෝබර් 14, අඟහරුවාදා

‘සෙනඟ යෙහෝවාගේ ගෘහය අත්හැරලා දැම්මා.’—2 ලේක. 24:18.

අපි යාළුවන් විදිහට තෝරගන්න ඕනෙ යෙහෝවා දෙවියන්ට ආදරේ කරන, ඔහුව සතුටු කරන්න උත්සාහ කරන අයව විතරයි. එයාලා අපේම වයසේ අය වෙන්නම ඕනෙ නැහැ. මතකද යෙහෝයාෂ් යෙහෝයාදාට වඩා හුඟක් බාලයි. ඒත් ඒ දෙන්නා හොඳ යාළුවෝ වුණා. ඉතින් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘මගේ යාළුවෝ යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය වැඩි කරන්න මට උදව් කරනවාද? දෙවියන්ගේ ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න එයාලා මට දිරිගන්වනවාද? යෙහෝවා ගැන, බයිබලේ තියෙන සත්‍යයන් ගැන එයාලා නිතරම කතා කරනවාද? එයාලා දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙනවාද? එයාලා කියන්නේ මං අහන්න කැමති දේ විතරද? නැත්තං මං වරදක් කළොත් එයාලා ඒක බය නැතුව මට පෙන්නලා දෙනවාද?’ (හිතෝ. 27:5, 6, 17) ඇත්තම කිව්වොත් ඔයාගේ යාළුවන් යෙහෝවාට ආදරේ කරන්නේ නැත්නම් එයාලා එක්ක වැඩි ඇයි හොඳයියක් ඕනෙ නැහැ. ඒත් යෙහෝවාට ඇත්තටම ආදරේ කරන යාළුවෝ ඔයාට ඉන්නවා නම් කවදාවත් එයාලව අත්හරින්න එපා. මොකද සත්‍යයේ ගමන යන්න එයාලා ඔයාට ලොකු හයියක්!—හිතෝ. 13:20. w23.09 9-10 6-7¶

ඔක්තෝබර් 15, බදාදා

“ඇල්ෆා සහ ඔමේගා මමයි.”—එළි. 1:8.

ඇල්ෆා කියන්නේ ග්‍රීක හෝඩියේ පළවෙනි අකුර. ඔමේගා කියන්නේ අන්තිම අකුර. ඉතින් “මම ඇල්ෆා සහ ඔමේගා” කියලා කියපු එකෙන් යෙහෝවා දෙවියන් කාවැද්දුවේ ඔහු මොකක් හරි දෙයක් පටන්ගත්තා නම් අනිවාර්යයෙන්ම ඒක සාර්ථකව අවසන් කරනවා කියන එකයි. දෙවියන් ආදම් සහ ඒවව නිර්මාණය කළාට පස්සේ එයාලට මෙහෙම කිව්වා. “දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.” (උත්. 1:28) තව විදිහකින් කියනවා නම් යෙහෝවා ඒ වෙලාවේ කළේ “ඇල්ෆා” කියලා කියපු එක. ඒ කියන්නේ ඔහුගේ අරමුණ ඉටු වෙන්න පටන්ගත්තා කියන එක. එයාලාගෙන් පැවතෙන කීකරු අය පරිපූර්ණත්වයට ළඟා වෙලා පොළොව පාරාදීසයක් වෙන දවසට යෙහෝවාට පුළුවන් “ඔමේගා” කියලා කියන්න. වෙන විදිහකින් කියනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔහුගේ අරමුණ ඉටු වුණා කියන එක. යෙහෝවා හැම දේම “සාදා නිම කළාට” පස්සේ එක සහතිකයක් දුන්නා හත්වෙනි දවස ඉවර වෙද්දී මිනිස්සු සහ මේ පොළොව සඳහා ඔහුට තිබුණ මුල් අරමුණ ඉටු වෙනවාමයි කියලා.—උත්. 2:1-3. w23.11 5 13-14¶

ඔක්තෝබර් 16, බ්‍රහස්පතින්දා

“යෙහෝවාගේ මාර්ගය එළිපෙහෙළි කරන්න. කාන්තාරය හරහා යන සමතලා මාර්ගයක් අපේ දෙවියන් වෙනුවෙන් හදන්න.”—යෙසා. 40:3.

ඊශ්‍රායෙල් දේශයට යන ගමන මාස හතරක විතර දුෂ්කර ගමනක්. හැබැයි දෙවියන් එයාලට පොරොන්දු වුණා බාධක අයින් කරලා එයාලා යන මඟ සමතලා කරනවා කියලා. එතකොට එයාලට බාගයක් දුර ගිහිල්ලා ආයේ හැරිලා එන්න වෙන්නේ නැහැ. විශ්වාසවන්ත යුදෙව්වන් දැනගෙන හිටියා ඊශ්‍රායෙල් දේශයට යන්න මොන කැප කිරීම කරන්න වුණත් ලැබෙන ආශීර්වාද ඒ හැම එකකටම වඩා වැඩියි කියලා. එයාලට ලැබුණ ලොකුම ආශීර්වාදය තමයි නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න ලැබුණ එක. මොකද සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න, නීතියේ කියලා තිබුණ විදිහට පූජා ඔප්පු කරන්න තැනක් බැබිලෝනියේ තිබුණේ නැහැ. පූජා ඔප්පු කරන්න පූජකයන් හිටියෙත් නැහැ. යුදෙව්වන් වට වෙලා හිටියෙත් දෙවියන්ගේ ප්‍රමිති රකින්නේ නැති, බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගෙන්. ඒ නිසා මේ රාජ නියෝගය අහපු හැටියේ දහස් ගාණක් යුදෙව්වන් ආයේ තමන්ගේ මව්බිමට යන්න බලන් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද එයාලා දැනගෙන හිටියා එහෙට ගිහින් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න පුළුවන් කියලා. w23.05 14-15 3-4¶

ඔක්තෝබර් 17, සිකුරාදා

“ආලෝකයේ දරුවන් විදිහට දිගටම ජීවත් වෙන්න.”—එෆී. 5:8.

දිගටම “ආලෝකයේ දරුවන්” විදිහට ජීවත් වෙන්න අපිට දෙවියන්ගේ බලයේ උදව් ඕනෙමයි. මොකද සදාචාරය පිරිහිලා තියෙන මේ ලෝකේ පිරිසිදු ජීවිතයක් ගත කරන එක ඇත්තටම අභියෝගයක්. (1 තෙස. 4:3-5, 7, 8) මේ ලෝකේ ඉන්න හුඟදෙනෙක් හිතන විදිහ දෙවියන් හිතන විදිහට වඩා හාත්පසින්ම වෙනස්. සමහරුන්ට තියෙන්නේ දර්ශනවාදී අදහස්. හැබැයි දෙවියන්ගේ බලයට පුළුවන් ඒ දේවල්වලින් අපේ හිත් ආරක්ෂා කරන්න. ඒ වගේම “සෑම පැත්තකින්ම යහපත්කම, ධර්මිෂ්ඨකම” වගේ ගුණාංග වර්ධනය කරගන්න උදව් කරන්නත් ඒ බලයට පුළුවන්. (එෆී. 5:9) ඒ බලය ලබාගන්න පුළුවන් එක විදිහක් තමයි ඒක ඉල්ලලා යාච්ඤා කරන එක. ඒකයි යේසුස් කිව්වේ දෙවියන්ගෙන් ඔහුගේ බලය ඉල්ලුවොත් “ඔහු ඊට වඩා කොතරම් වැඩියෙන්” ඒ දේ දෙයිද කියලා. (ලූක් 11:13) ඒ වගේම අපි යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න එකට රැස් වෙද්දීත් අපිට ඔහුගේ බලය ලැබෙනවා. (එෆී. 5:19, 20) ඒ බලයේ උදව්වෙන් අපිට පුළුවන් යෙහෝවා දෙවියන්ට ප්‍රසන්න විදිහේ ජීවිතයක් ගත කරන්න. w24.03 23-24 13-15¶

ඔක්තෝබර් 18, සෙනසුරාදා

“දිගටම ඉල්ලන්න. එතකොට ඉල්ලන දේ ඔයාලට ලැබෙයි. දිගටම හොයන්න. එතකොට ඔයාලට හම්බ වෙයි. දිගටම තට්ටු කරන්න. එතකොට දොර ඇරෙයි.”—ලූක් 11:9.

යාච්ඤා කරලා ඉවසීම වැඩි කරගන්න උදව් ඉල්ලන්න. ඉවසීම කියන්නේ දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංගයක්. (ගලා. 5:22, 23) ඒ නිසා ඒ ගුණාංගය ඇති කරගෙන ඒක දිගටම වර්ධනය කරගන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. විශේෂයෙන්ම ඉවසන්න ගොඩක් අමාරුයි කියලා හිතෙද්දී ඒ දේ දිගටම කරන්න. (ලූක් 11:13) ඒ වගේම, දේවල් දිහා යෙහෝවා බලන විදිහට බලන්නත් උදව් ඉල්ලන්න. ඒත් උදව් ඉල්ලුවාට විතරක් මදි. හැම දවසකම ඉවසීමෙන් වැඩ කරන්න ඔයාගේ පැත්තෙන් උපරිමය කරන්නත් ඕනේ. ඒ විදිහට ඔයා ඒ ගැන යාච්ඤා කරන තරමට, ඉවසන්න මහන්සි වෙන තරමට ඒ ගුණාංගය ඔයාගේ හදවතේ මුල් අදියි. එතකොට යෙහෝවාගේ උදව්වෙන් කලින්ටත් වඩා ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාට පුළුවන්. බයිබල් ආදර්ශ ගැන ගැඹුරින් හිතන එකත් උදව්වක්. ඉවසීමෙන් වැඩ කරපු හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. ඒ අය ගැන කියවලා හොඳට හිතද්දී ඉවසීම පෙන්නන්න පුළුවන් තව හුඟක් පැති ඉගෙනගන්න අපිට පුළුවන්. w23.08 22 10-11¶

ඔක්තෝබර් 19, ඉරිදා

“දැන් දියඹට ගිහින් දැල් දාන්න.”—ලූක් 5:4.

යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ වුණ දෙයක් බලන්න. ඔහු පේතෘස්ට සහ එයාත් එක්ක හිටපු අනිත් අයට ආශ්චර්යවත් විදිහට මාළු අල්ලන්න උදව් කළා. (යොහ. 21:4-6) අවශ්‍ය ඕනම දෙයක් ලේසියෙන් සපයන්න යෙහෝවාට පුළුවන් කියලා ඒ ආශ්චර්යය නිසා පේතෘස්ට සහතිකයක් ලැබුණා. ‘දේවරාජ්‍යයට මුල් තැන දෙන’ අයව යෙහෝවා අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා යේසුස් කලින් කියපු දේ ඒ වෙලාවේ පේතෘස්ට මතක් වෙන්න ඇති. (මතෙ. 6:33) ඒ නිසා තමයි එයාගේ ධීවර ව්‍යාපාරය අත්හැරලා සේවේට මුල් තැන දෙන්න එයා පෙලඹුණේ. ඒ වගේම ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී එයා හරිම නිර්භීතව සාක්ෂි දරලා දහස් ගාණකට ක්‍රිස්තියානීන් වෙන්න උදව් කළා. (ක්‍රියා 2:14, 37-41) ඊටපස්සේ එයා සමරිතානුවන්ට සහ වෙනත් ජාතීන්ටත් යේසුස්ව පිළිගන්න උදව් කළා. (ක්‍රියා 8:14-17; 10:44-48) හැම තරාතිරමක ඉන්න අයව ක්‍රිස්තියානි සභාවට ගේන්න යෙහෝවා පේතෘස්ව පාවිච්චි කරපු විදිහ කොච්චර පුදුමාකාරද! w23.09 20 1¶; 23 11¶

ඔක්තෝබර් 20, සඳුදා

“මම දැක්ක හීනයත් ඒකේ තේරුමත් මට කිව්වේ නැත්තං මං උඹලව කෑලි කෑලිවලට කපලා දානවා.”—දානි. 2:5.

යෙරුසලම විනාශ කරලා අවුරුදු 2කට විතර පස්සේ නෙබුකද්නෙෂර් රජ විශාල රූපයක් ගැන භයානක හීනයක් දැක්කා. ඒ නිසා රජගේ මනස කොච්චර අවුල් වුණාද කියනවා නම් එයා අණ කළා හීනයත් ඒකේ අර්ථයත් පැහැදිලි කරලා දුන්නේ නැත්නම් බුද්ධිමතුන් හැමෝවම මරලා දාන්න කියලා. (දානි. 2:3-5) ඒ බුද්ධිමතුන් අතර දානියෙලුත් හිටියා. ඒ නිසා ඉක්මනට මොනවා හරි කළේ නැත්නම් ජීවිතෙන් තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඉතින් දානියෙල් ‘රජ ළඟට ගිහින් සිහිනයේ අර්ථය පැහැදිලි කරලා දෙන්න ටික කාලයක් ඉල්ලුවා.’ (දානි. 2:16) ඒ වගේ ඉල්ලීමක් කරන්න කොච්චර ධෛර්යයක්, කොච්චර විශ්වාසයක් තියෙන්න ඕනෙද! අනික ඊට කලින් දානියෙල් සිහිනවල අර්ථය පැහැදිලි කරලා දුන්න අවස්ථාවක් ගැන බයිබලේ සඳහන් වෙලා නැහැ. ඒ නිසා එයාගේ යාළුවෝ තුන්දෙනා ළඟට ගිහිල්ලා දානියෙල් කිව්වා “සිහිනයත් එහි අර්ථයත් පැහැදිලි කර දෙන ලෙස දෙවිගෙන් අයැදින්න” කියලා. (දානි. 2:18) දෙවියන් එයාලාගේ යාච්ඤා ඇහුවා. ඒ නිසා දානියෙල්ට පුළුවන් වුණා නෙබුකද්නෙෂර් රජගේ හීනය පැහැදිලි කරලා දෙන්න. w23.08 3 4¶

ඔක්තෝබර් 21, අඟහරුවාදා

“අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.”—මතෙ. 24:13.

ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් ඉන්නේ සතුටින්. එයා හරිම සන්සුන්. ඉවසීමෙන් වැඩ කරන එක අපේ මානසික සහ ශාරීරික සෞඛ්‍යයටත් බලපානවා. ඉවසීම නිසා බැඳීම් ශක්තිමත් වෙනවා, සභාවක් එක්සත් වෙනවා. කවුරු හරි කේන්ති ගස්සන දෙයක් කරද්දී දිගටම ඉවසන්න. එතකොට නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන තැනට වැටෙන්නේ නැහැ. (ගීතා. 37:8; හිතෝ. 14:29) ඉවසීමෙන් වැඩ කරද්දී අපි ආදර්ශයට ගන්නේ යෙහෝවා දෙවියන්ව. ඒකෙන් අපි ඔහුට තවත් ළං වෙනවා. ඇත්ත, හැම වෙලාවෙම ඉවසන එක ලේසි නැහැ. හැබැයි දෙවියන්ගේ උදව්වෙන් අපිට දිගටම ඉවසීම වර්ධනය කරගන්න පුළුවන්. අපි එහෙම කරලා දේවරාජ්‍යය එන කල් ඉවසීමෙන් බලාගෙන ඉන්නවා නම් “යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති, ඔහු ප්‍රේමය පෙන්වන තෙක් ආශාවෙන් බලා සිටින අය ගැන ඔහු සතුටු වෙනවා” කියලා අපිටත් සහතිකයි. (ගීතා. 147:11) ඒ නිසා දිගටම ඉවසීම පැලඳගන්න අධිෂ්ඨාන කරගමු. එහෙම කරද්දී ළඟදීම ඉවසීමෙන් සැනසීම ලබාගන්න අපිටත් පුළුවන්. w23.08 22 7¶; 25 16-17¶

ඔක්තෝබර් 22, බදාදා

‘අපි වැඩ කරන විදිහෙන් අපි විශ්වාසය පෙන්නන්නේ නැත්නම් ඒ විශ්වාසය මැරිලා.’—යාකො. 2:17.

කෙනෙක් විශ්වාසය තියෙනවා කියලා කිව්වාට මදි ඒක එයාගේ ක්‍රියාවලිනුත් පේන්න තියෙන්න ඕනේ. (යාකො. 2:1-5, 9) සහෝදරයෙක් කන්න අඳින්න නැතුව ඉන්නවා දැකදැකත් කිසිම දෙයක් කරන්නේ නැති කෙනෙක් ගැන යාකොබ් කතා කළා. එයාට විශ්වාසයක් තියෙනවා කියලා කිව්වත් ඒක එයාගේ ක්‍රියාවලින් දකින්න නැහැ. ඒ වගේ විශ්වාසයකින් ඇති වැඩක් තියෙනවාද? (යාකො. 2:14-16) රාහබ් විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නපු කෙනෙක්. (යාකො. 2:25, 26) යෙහෝවා ගැන, ඔහු ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු විදිහ ගැන රාහබ්ට ආරංචි වුණා. (යොෂු. 2:9-11) ඒ නිසා එයාට යෙහෝවා ගැන විශ්වාසයක් ඇති වුණා. ඒ විශ්වාසය නිසා කරදරේ වැටිලා හිටපු ඊශ්‍රායෙල් ඔත්තුකාරයන් දෙන්නාට ජීවිත බේරගන්න එයා උදව් කළා. ඒ නිසා පාපය උරුම කරගත්ත, වෙනත් ජාතියකට අයිති වුණ මේ ස්ත්‍රියවත් දෙවියන් සැලකුවේ ආබ්‍රහම් වගේම ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට. රාහබ්ගේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා විශ්වාසයයි, ක්‍රියාවයි එකට බැඳිලා තියෙන දේවල් දෙකක් කියලා. w23.12 5-6 12-13¶

ඔක්තෝබර් 23, බ්‍රහස්පතින්දා

“හොඳින් මුල් ඇදපු ගහක් වගේ ශක්තිමත් අත්තිවාරම මත ඔයාලව ස්ථිරව පිහිටුවන්න කියලත් මං ඉල්ලනවා.”—එෆී. 3:17.

ක්‍රිස්තියානීන් විදිහට අපිට ඕනෙ දෙවියන්ගේ බලයේ උදව්වෙන් ඔහු “එළිදරව් කරන ගැඹුරු කාරණා” ගැන දැනගන්න. (1 කොරි. 2:9, 10) ඒකට යෙහෝවාට ඔයාව තවත් ළං කරන විෂයන් ගැන අධ්‍යයනය කරන්න පටන්ගන්න. ඔයාට පුළුවන් යෙහෝවා අතීතයේ හිටපු ඔහුගේ සේවකයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද සහ ඒකෙන් ඔහු ඔයාටත් ආදරෙයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්න. ඒ විතරක් නෙවෙයි ඊශ්‍රායෙල් කාලේ දෙවියන්ට නමස්කාර කරන්න තිබුණ සැලැස්මයි, අද තියෙන සැලැස්මයි අතර තියෙන සමානකම් ගැන අධ්‍යයනය කරන්නත් පුළුවන්. ඊට අමතරව යේසුස් මේ පොළොවේ සේවේ කරන කාලේදී ඔහු මාර්ගයෙන් ඉටු වුණ අනාවැකි ගැනත් ගැඹුරට අධ්‍යයනය කරන්න. ඒකට ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොතත් ඔයාට උදව් වෙයි. ඒ විදිහට ඔයා දේවවචනය හොඳට පරීක්ෂා කරලා බලද්දී ඒකෙන් ඔයාගේ විශ්වාසය ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි තව තවත් “දෙවියන්ව දැන හඳුනා ගන්නත්” පුළුවන් වෙනවා.—හිතෝ. 2:4, 5. w23.10 18-19 3-5¶

ඔක්තෝබර් 24, සිකුරාදා

“වැදගත්ම දේ, එකිනෙකාට හද පත්ලෙන්ම ආදරේ කරන්න. ඒ වගේ ආදරයකට පුළුවන් වැරදි අමතක කරලා දාන්න.”—1 පේතෘ. 4:8.

මුල් භාෂාවට අනුව “හද පත්ලෙන්ම” කියලා කියන්න පේතෘස් පාවිච්චි කරපු වචනයෙන් “වෙහෙසක් දරලා යම් දෙයක් දෙපැත්තට අදිනවා” කියන එක අදහස් වෙනවා. හිතන්න, හොඳට ඇදෙන රෙද්දක් අපි අත් දෙකෙන් අල්ලගෙන දෙපැත්තට අදිනවා කියලා. ඒ රෙදි කෑල්ල අදින්න අදින්න ලොකු වෙන නිසා ඒකෙන් හුඟක් ලොකු දෙයක් වුණත් වහන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ හිතේ තියෙන ආදරයත් පුළුවන් තරම් ඇදලා ලොකු කරගන්නවා නම් ඒකෙන් සහෝදරයන් කරපු වැරදි එකක් දෙකක් නෙවෙයි “රාශියක්ම” වහලා දාන්න පුළුවන්. අපේ හිතේ සහෝදරයන් ගැන ගැඹුරු ආදරයක් තියෙනවා නම් අපි පෙලඹෙනවා කොච්චර අමාරු වුණත් එයාලට හදවතින්ම සමාව දෙන්න. (කොලො. 3:13) ඇත්ත, ඒක කරන එක සමහර වෙලාවට ලේසි නැහැ. හැබැයි අමාරුවෙන් හරි අපි ඒ දේ කරද්දී අපේ හිතේ එයාලා ගැන මොන තරම් ආදරයක් තියෙනවාද කියලා පේනවා. ඒ වගේම යෙහෝවාව සතුටු කරන්න අපිට ලොකු ආසාවක් තියෙනවා කියලා පේනවා. w23.11 11-12 13-15¶

ඔක්තෝබර් 25, සෙනසුරාදා

‘ෂාපාන් ඒක රජට ඇහෙන්න කියෙව්වා.’—2 ලේක. 34:18.

යොෂියා රජ දේවමාලිගාව අලුත්වැඩියා කරද්දී තමයි “යෙහෝවා දෙවිගේ නීතිය සඳහන් ලියවිල්ල” එයාලට හම්බ වුණේ. ඒ ලියවිල්ලේ තියෙන දේවල් ඇහුවාම ඒකේ කියලා තියෙන විදිහටම දේවල් කරන්න රජ ඉක්මනින්ම පියවර ගත්තා. (2 ලේක. 34:14, 19-21) ඔයාත් ආසද හැමදාම බයිබලේ කියවන්න ඉලක්කයක් තියාගන්න? ඔයා දැනටමත් ඒක පටන් අරන් නම් තියෙන්නේ, කොහොමද මේ දවස්වල ඔයාගේ බයිබල් කියවීමේ තත්වය? ඔයාට උදව් වෙන බයිබල් පද ඔයා කොහේ හරි ලියලා තියාගන්නවාද? යොෂියාට අවුරුදු 39ක් විතර වෙද්දී එයා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට එයාවම විශ්වාස කරලා වැඩ කළා. ඒ නිසා එයාගේ ජීවිතේ නැති වුණා. (2 ලේක. 35:20-25) මොකක්ද පාඩම? අපි වයසින් මුහුකුරා ගියත් කොච්චර කාලයක් බයිබලේ අධ්‍යයනය කරලා තිබුණත් අපි දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්න ඕනේ. ඒකට අපි වරද්දන්නේ නැතුව යාච්ඤා කරන එක, බයිබලේ අධ්‍යයනය කරන එක, අවබෝධයෙන් වැඩ කරන අයගෙන් මඟ පෙන්වීම් ඉල්ලන එක ඇතුළත්. එහෙම කළොත් වරදින අවස්ථා අඩු කරගෙන සතුටින් ඉන්න අවස්ථා වැඩි කරගන්න අපිට පුළුවන්.—යාකො. 1:25. w23.09 12 15-16¶

ඔක්තෝබර් 26, ඉරිදා

“දෙවියන් උඩඟු අයට විරුද්ධව ඉන්නවා. ඒත් නිහතමානී අයට මහත් කරුණාව පෙන්නනවා.”—යාකො. 4:6.

යෙහෝවාට හදවතින්ම ආදරේ කරපු, වෙහෙස මහන්සි වෙලා ඔහුට සේවේ කරපු සුවිශේෂී කාන්තාවන් හුඟදෙනෙක් ගැන බයිබලේ තියෙනවා. එයාලා ‘සෑම දෙයකදීම තම සීමාව දැනගෙන කටයුතු කරපු, සියල්ලේදීම විශ්වාසවන්තව කටයුතු කරපු අය.’ (1 තිමෝ. 3:11) ඊට අමතරව අපේ සභාවලත් ආදර්ශයට ගන්න පුළුවන් සහෝදරියන් ඕන තරම් ඉන්නවා. යෞවනියෙනි, ඒ වගේ සහෝදරියන්ව ඔයාටත් මතක් වෙනවාද? මුලින්ම එයාලා ගාව තියෙන්නේ මොන වගේ ලස්සන ගුණාංගද කියලා හිතන්න. ඊටපස්සේ එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. අපිට නැතුවම බැරි ගුණාංගයක් තමයි නිහතමානිකම. සහෝදරියක් නිහතමානී නම් එයාට යෙහෝවා එක්ක වගේම අනිත් අය එක්කත් හොඳ බැඳීමක් තියාගන්න පුළුවන්. උදාහරණෙකට යෙහෝවාට ආදරේ කරන සහෝදරියක් දන්නවා මූලිකත්වය ගැන සැලැස්ම ඇති කළේ එයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවාමයි කියලා. ඒ නිසා එයා නිහතමානීව කැමැත්තෙන්ම ඒකට යටත් වෙනවා. (1 කොරි. 11:3) එයා තේරුම්ගන්නවා ඒ සැලැස්මට එයා සභාවේදී වගේම පවුලේදීත් කීකරු වෙන්න ඕනෙ කියලා. w23.12 18-19 3-5¶

ඔක්තෝබර් 27, සඳුදා

“ස්වාමිපුරුෂයනුත් තමන්ගේ ශරීරයට ආදරෙන් සලකනවා වගේ තමන්ගේ භාර්යාවන්ටත් ආදරෙන් සලකන්න ඕනේ.”—එෆී. 5:28.

සැමියෙක් බිරිඳට අවශ්‍ය දේවල් දීලා එයාව සතුටින් තියයි කියලත් දෙවියන්ට ළං වෙන්න බිරිඳට උදව් කරයි කියලත් යෙහෝවා සැමියෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. සිතීමේ හැකියාව දියුණු කරගන්න එක, කාන්තාවන්ට ගෞරව කරන එක, වගකීමෙන් වැඩ කරන එක වගේ දේවල් සාර්ථක විවාහයකට උදව් වෙනවා. සමහරවිට විවාහ වුණාට පස්සේ ඔයා තාත්තා කෙනෙක් වෙයි. හොඳ තාත්තා කෙනෙක් වෙන්න යෙහෝවාගෙන් ඉගෙනගන්න. (එෆී. 6:4) යෙහෝවා යේසුස්ට තිබ්බ ආදරේ හංගන්නේ නැතුව කිව්වා. (මතෙ. 3:17) ඔයාත් තාත්තා කෙනෙක් වුණාම නිතරම දරුවන්ට කියන්න ඔයා එයාලට ආදරෙයි කියලා. එයාලා කරන හොඳ දේවල් හදවතින්ම අගය කරන්න. දෙවියන්ව ආදර්ශයට ගන්න තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් වෙන්නත් උදව් කරනවා. ඒ දේවල්වලින් පේනවා හොඳ තාත්තා කෙනෙක් වෙන්න ඔයාගේ පැත්තෙන් හුඟක් දේවල් කරන්න තියෙනවා කියලා. ඒකට දැන් ඉඳන්ම පවුලේ අයව, සභාවේ අයව ආදරෙන් බලාගන්න. ඔයා එයාලට ආදරෙයි කියලත් එයාලව අගය කරනවා කියලත් එයාලට කියන්න.—යොහ. 15:9. w23.12 28-29 17-18¶

ඔක්තෝබර් 28, අඟහරුවාදා

“ඔබේ ජීවිත කාලේ පුරාම ඔබට වැටෙන්න නොදී ඔබට සවියක් වෙන්නේ [යෙහෝවායි].”—යෙසා. 33:6.

අපි යෙහෝවාට විශ්වාසවන්තව සේවේ කළත් මේ ලෝකේ අයට වගේ අපිටත් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. අපි ඔහුට සේවේ කරන නිසා හුඟක් පීඩා, විරුද්ධවාදිකමුත් එනවා. මේ කාලේ දෙවියන් ඒ හැම දේකින්ම අපිව ආරක්ෂා කරන්නේ නැහැ. හැබැයි අපේ උදව්වට අපි ළඟින්ම ඉන්නවා කියලා ඔහු පොරොන්දු වෙනවා. (යෙසා. 41:10) ඉතින් ඔහුගේ උදව් ලැබෙන නිසා ප්‍රශ්නේ කොච්චර දරුණු වුණත් අපිට දිගටම සතුටින් ඉන්න පුළුවන්. හොඳ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ඔහුව අත්හරින්නේ නැතුව ඉන්නත් පුළුවන්. යෙහෝවා පොරොන්දු වෙනවා අපිට සමාදානය දෙනවා කියලා. ඒක බයිබලේ හඳුන්වන්නේ “දෙවි ලබා දෙන සමාදානය” කියලා. (ෆිලි. 4:6, 7) ඒ සමාදානය තමයි යෙහෝවා එක්ක තියෙන කිට්ටු බැඳීම නිසා අපේ හදවතටයි, මනසටයි දැනෙන සන්සුන්කම. ඒක ‘කිසිම මිනිසෙක්ට වටහාගන්න බැරි සමාදානයක්.’ ඒක ලැබෙද්දී හිතට දැනෙන සහනය වචනවලින් විස්තර කරන්න බැහැ. කවදා හරි අඬඅඬ යාච්ඤා කරද්දී ඒ වගේ සහනයක් ඔයාටත් දැනිලා තියෙනවාද? අන්න ඒකට තමයි “දෙවි ලබා දෙන සමාදානය” කියන්නේ. w24.01 20 2¶; 21 4¶

ඔක්තෝබර් 29, බදාදා

“මම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා. මගේ මුළු හදවතින්ම මම ඔහුගේ ශුද්ධ නමට ප්‍රශංසා කරනවා.”—ගීතා. 103:1.

දෙවියන්ට තියෙන ආදරේ නිසා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන් පෙලඹෙනවා ඔහුගේ ශුද්ධ නමට ප්‍රශංසා කරන්න. යෙහෝවාගේ නමට ප්‍රශංසා කරනවා කියන්නේ ඒ නමෙන් නියෝජනය වෙන කෙනාට ප්‍රශංසා කරන එකයි කියලා දාවිත් තේරුම්ගත්තා. මොකද යෙහෝවා කියන නම ඇහෙද්දී ඔහුගේ ගුණාංග, ඔහු කරලා තියෙන පුදුමාකාර දේවල් අපිට මතක් වෙනවා. දාවිත්ට ඕන වුණේ අන්න ඒ ශුද්ධ තැනැත්තාට “මුළු ජීවිතයෙන්ම” ඒ කියන්නේ මුළු හදවතින්ම ප්‍රශංසාව දෙන්නයි. දෙවියන්ට ප්‍රශංසා කරන්න පෙරමුණ ගත්ත තවත් කට්ටියක් තමයි ලෙවීවරු. එයාලා නිහතමානීව පිළිගත්තා එයාලා කොච්චර ලස්සන වචන පාවිච්චි කරලා ප්‍රශංසා කළත් දෙවියන් ලබන්න වටින ප්‍රශංසාව දෙන්න ඒ වචන මදි කියලා. (නෙහෙ. 9:5) කිසිම සැකයක් නැහැ එයාලා නිහතමානීව, මුළු හදවතින්ම යෙහෝවාට ප්‍රශංසා කරද්දී ඔහුගේ හදවතත් සතුටින් පිරිලා යන්න ඇති. w24.02 9 6¶

ඔක්තෝබර් 30, බ්‍රහස්පතින්දා

“අපි ලබලා තියෙන දියුණුව මොකක් වුණත් දිගටම ඒ විදිහටම අපි ඉස්සරහට යමු.”—ෆිලි. 3:16.

සීමාවෙන් එහා තියෙන ඉලක්කයක් ජය ගන්න බැරි වුණා කියලා යෙහෝවා කවදාවත් ඔයාව පරාජිතයෙක් විදිහට දකින්නේ නැහැ. (2 කොරි. 8:12) ඒ නිසා බාධාවලින් ඉගෙනගන්න. බයිබලේ කියනවා ‘ඔබ කළ සේවය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි’ කියලා. (හෙබ්‍රෙ. 6:10) දෙවියන්ම ඔයා කරපු දේවල් අමතක කරන්නේ නැත්නම් ඔයා අමතක කරන එක හොඳ නැහැ නේද? ඉතින් ඔයා දැනටමත් ජය අරන් තියෙන ඉලක්ක ගැන හිතන්න. ඔයා යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇති. ඔහු ගැන අනිත් අයට කතා කරනවා ඇති. බව්තීස්ම වෙලාත් ඇති. ඒ ඉලක්කවලට ළඟා වෙන්න ඔයාට පුළුවන් වුණා වගේ ඔයා දැන් තියලා තියෙන ඉලක්කවලටත් අනිවාර්යයෙන්ම යෙහෝවාගේ උදව්වෙන් ළඟා වෙන්න ඔයාට පුළුවන්. ඉලක්කයට යන අතරතුරේදී යෙහෝවා ඔයාට උදව් කරන විදිහ, ආශීර්වාද කරන විදිහ දිහා බලලත් සතුටු වෙන්න. (2 කොරි. 4:7) ඒ විදිහට ඔයාත් උත්සාහය අත්හරින්නේ නැතුව ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙද්දී ඔයාගේ ගමනාන්තයත් ආශීර්වාදවලින් පිරුණු එකක් වෙයි.—ගලා. 6:9. w23.05 31 16-18¶

ඔක්තෝබර් 31, සිකුරාදා

“තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලට මං ගැන තියෙන සෙනෙහස නිසාත් මං ආවේ දෙවියන්ගේ නියෝජිතයා විදිහට කියලා ඔයාලා විශ්වාස කරන නිසාත් තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි.”—යොහ. 16:27.

යෙහෝවා ඔහුගේ සේවකයන්ට ආදරෙයි, ඔහුගේ අනුමැතිය එයාලට තියෙනවා කියලා පෙන්නන්න හරිම කැමතියි. යේසුස් මේ පොළොවේ ඉද්දීත් දෙවියන් අවස්ථා දෙකකදීම කිව්වා ඔහුගේ ආදරණීය පුතාට ඔහුගේ අනුමැතිය තියෙනවා කියලා. (මතෙ. 3:17; 17:5) ඒත් අද නම් ඔහු ස්වර්ගයේ ඉඳන් කතා කරලා ඔහුගේ අනුමැතිය අපිට තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ වෙනුවට අද අපිට ඔහුගේ හඬ ඇහෙන්නේ බයිබලේ පිටු අතරින්. ඒ හඬ අහන්න පුළුවන් හොඳම විදිහක් තමයි යේසුස් ඔහුගේ ගෝලයන්ට කියපු දේවල් ගැන කියවන එක. පව්කාරයන් වුණත් ගෝලයෝ විශ්වාසවන්තව වැඩ කරපු නිසා යේසුස් එයාලා ගැන හුඟක් සතුටු වෙනවා කියලා කිව්වා. යේසුස් කියන්නේ යෙහෝවා දෙවියන්ව 100%ක් අනුකරණය කරපු කෙනා. ඒ නිසා ඒ වාර්තා කියවද්දී යෙහෝවා අපිටත් කතා කරලා “මං ඔයාලා ගැන ගොඩක් සතුටු වෙනවා” කියලා කියන විදිහ අපේ හිතේ මැවෙනවා. (යොහ. 15:9, 15) ඒත් අපිට ප්‍රශ්න එනවා කියන්නේ අපිට දෙවියන්ගේ අනුමැතිය නැහැ කියන එක නෙවෙයි. ඒ වෙනුවට ඒක ඔහුට තියෙන ආදරේ, විශ්වාසය පෙන්නන්න අපිට ලැබෙන අවස්ථාවක්.—යාකො. 1:12. w24.03 28 10-11¶

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • Privacy Settings
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න